සාතන් අප දෙස ගිජු ලෙස නෙත් යොමා ගෙන සිටියි, ........ ප්‍රවේශමෙන්!

                                "නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ" යි, සමිදාණන් වහන්සේ සාතන්ගෙන් විචාල සේක. සාතන් සමිදාණන් වහන්සේට උත්තර දෙමින්, "මම මහ පො‍ළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි" යි කී ය. (ජෝබ් 1:7)
 
 
     ස්වාමින්වහන්සේ  ඔබටත් මටත් සහයවීම පිණිස උන්වහන්සේගේ ශ්‍රී නේත්‍ර පොළොවේ දසඅතටම යොමු වී ඇති බව, 2 ලේකම් 16:9 හි දේව වචනයක්ව සදහන්ව තිබේ. ඉහත දේව වචනයෙන් අපට පෙනී යන්නේ, අපගේ සතුරා වන යක්ෂයා "පොළොවේ සැරිසරමින් සිටින බවය."  ස්වාමින්වහන්සේගේ කරුණාව අසමසම  මෙන්ම, උන්වහන්සේ අපට දුන්නාවූ ගැළවීම අතිවිශිෂඨ ය. නමුත් ඔබටත් මටත් ගැළවීම ලැබූ පසුව, අපට විරුද්ධව වැරදි තැබීමට, සාතන් අපගේ යම් වරදක් සොයමින් අප පසුපස නෙත් යොමා ගෙන, ලුහු බදිමින්සිටියි.
 
      දෙවි පියාණන්වහන්සේටත් අපටත් අතර තිබෙන දරු පිය සෙනහසට, හානි කරන්නට, එය පළුදු කරන්නට සාතන් මහ පොළොවේ ඇවිදින අතර, එළිදරව් පොතේ 12:10 හි, "ඔහු රෑ දහවල් අපගේ දෙවි පියාණන්වහන්සේ ඉදිරියෙහි, අපට වරද තබන බවට" සදහන් වේ. එබැවින් අපගේ ආත්මීක ගමන ඉතා ප්‍රවේශමෙන් යා යුතුව ඇත. සිතින් වචනයෙන් කරන, කියන සෑම දෙයක්ම බොහෝ සිහි කල්පනා ඇතිව කළ යුතු වේ. ඒ මන්දයත් "සිහි ඇතිව අවධිව ඉන්න කියාද, විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහයකු මෙන් කවරකු ගිලිමිදෝයි සොයමින් ඔබමොබ ඇවිදින්නේය" කියාද 1 පේතෘස් 5;8 හි  ලියා තිබේ.
      දේව දරුවන් වූ අප බිය නොවෙමු. අපව ශක්තිමත් කර, සම්පූර්ණ කර, ස්ථීර කර අපව බලවත් කරන්නට අපව කැදෙව්වා වූ දෙව පියාණන්වහන්සේ ජීවමනව වැඩ සිටින සේක. එමෙන්ම සතුරා කුමන ආකාරයේ උපක්‍රම හා කපටිකම් යෙදුවත් දෙවි වූ ස්වාමින්වහන්සේ ඊට ඉහළින් ක්‍රියා කරන්නට අපට ප්‍රඥාව දෙමින්, උන්වහන්සේගේ දරුවන්ව ආරක්ෂා කරන සේක. අප දෙවියන් වහන්සේව අපගේ මුළු සිතින් සොයන කල ජෝබ් පොතේ 1;10 හි සදහන් වන පරිදි උන්වහන්සේ අප වටකරත්, අපගේ නිවස වටකරත්, අපට ඇති සියල්ල වට කරත් හැම අතින්ම ආරක්ෂා වැටක්ව වැඩ වසන සේක. අප වටා ස්වාමින් වහන්සේගේ ආරක්ෂාව අතීමහත් ය. මුළු සිතින්ම උන්වහන්සේව සොන්නේ නම් පමණක්, එම දිව්‍යමය රැකවරණය අපට ලැබෙන බව ‍නොඅනුමානයි. ස්වාමින් වහන්සේ මේ මොහොතේ සිටම අපගේ ආරක්ෂා සලසමින්, අපගේ ජයග්‍රහණය තහවුරු කරන සේක.  
 
මාගේ ආදර පියාණෙනි, මා වටාත් මාගේ නිවස වටාත් මට ඇති සියල්ල වටාත් ඔබ වහන්සේගේ ආරක්ෂා බැල්ම හෙළා මා ධෛර්යමත් කළාට, ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා කරමි.එබැවින් සතුරාට, මට එරෙහිව කිසිවක් කළ නොහැකි ය. අද පටන් මට විරද්ධව, සාතාන්ට මා පිට වරද තබන්නට බැරි වන ලෙස ඔබගේ ප්‍රඥාවෙන් මා පුරවනු මැනව. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් - ආමෙන්. 


ශුද්ධ බයිබලයේ ලියා ඇති පොරොන්දුව :-
     "උන්වහනසේ මනුෂ්‍යයාට කතාකොට: ප්‍රඥාව නම් ස්වාමින්වහන්සේ කෙරෙහි භයින් සිටීමත්, නුවණ නම් නපුරෙන් වැලකී සිටිමත් යැයි වදාළ සේකැයි කීවේය. (ජෝබ් 28:28)

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න