බාධාවන් ගැන බිය නොවෙමු !

" ගොඩනගන්නෝද එකිනෙකා තම තමාගේ කඩුව ඉගටියේ පැළදගෙන ගොඩනැගුවෝ ය. හොරණෑ පිඹින්නා මා ළග සිටියේ ය." (නෙහෙමියා 4:18)

සමිදාණන් සමග යන ආත්මීක ගමනේදි නිතරම බාධාවන් ඇතිවිය හැකි ය. සිත බිද වැටීම් සිදුවිය හැකිය. නමුත් අප, අපගේ සිත් කළඹා ගතයුතු නැත. අපගේ සමිදාණන් උදෙසා කිරීමට, අප දේවස්ථානයේ, ගමේ, නගරයේ, රටේ  අප යමක් කිරීමට සිතට ගත් ඒ සිතුවිල්ල සමිදාණන් අගයන සේක. උන්වහන්සේ සොයන්නේ පළමුව තමන්ගේ සිත, උන්වහන්සේ වෙත යොමුකර යමක් කිරීමට තීරණය ගන්නා තැනත්තාවයි. ඔවුන් කෙරෙහි සමිදාණන් ජ්වලිත වී නෙහෙමියාට උපකාර කළාසේ, උපකාර කරන සේක. මන්දයත් උන්වහන්සේ ඊයෙත්, අදත්, සදාකාලයටමත් එකාකාරයෙන්ම වැඩවසන්නාවු දෙවියන්වහන්සේය.
නෙහෙමියා 4:17 හි අප දකින්නේ ඒ පවුර ගොඩනගන්නෝද බර ගෙන යන්නෝද සතුරෝ ඔවුන්ගේ ක්‍රියාව පහර දි නවත්වන්නට, එන බවට තොරතුරු ලැබුණ විගසම තමන්ම බර උසුලාගෙන, එක අතකින් ආයුධයක් රැගෙන වැඩ කළ බවත්, නෙහෙමියා 4:18 හී ගොඩනගන්නෝද එකිනෙකා තමතමාගේ කඩුව ඉගටියේ පැළදගෙන ගොඩනැගු බවත් ලියා තිබේ. හදිසියේ විරුද්ධවාදින් පැමිණියොත්, සටන් කරන්නට සූදානමින් සිට, පවුර ගොඩනගා ජයග්‍රාහි ලෙස, නිම කළ බවට දේව වචනයේ ලියා තිබේ.  අපව කැදෙව්වාවු සමිදාණන් වහන්සේ, තමන්වහන්සේගේ ඉලක්කය කරා, අපව මෙහෙයවන්නට බලවන්තයි. අප උන්වහන්සේ පසුපස යනවා නොව, උන්වහන්සේ අපව රැගෙන යන සේක. මන්දයත් සමිදාණන්තේ වචනයේ දැක්වෙන්නේ, "මම නුඹට පෙරටුවෙන් ගොස් නුඹගේ මාර්ගයෙහි, සියළු රළු තැන් සමතලා කර දෙන්නෙමි." කියා ය.  එසේ අපගේ ගමන් මාර්ගය සූදානම් කරන්නේ උන්වහන්සේ බව මේ දේව වචන මාලාවෙන් පැහැදිලි වෙයි. අපගේ දුර්වල අවස්ථාවලදී, තමන් වහන්සේගේ ශක්තිය දෙන සමීදාණන් අප තුළම වැඩ වසන සේක.
අපගේ සෑම කටයුත්තකදීම, ස්වාමින් වහන්සේ තුළ අප ගත් තීරණයන්, අවුල් වියවුල් කිරීමට සාතන් උගේ උපායවල් අටවමින්, අපට බාධා ගෙන එයි. එවැනි අවස්ථාවල අප දුබල වී, මැළ වී, පරාජයට පත් වී සමිදාණන්ට යච්ඤා කිරීමට නොහැකි තත්වයට පත්කර දැමීම, උගේ පරමාර්ථයයි. අප ආත්මික ජීවිතයෙන් ඉවතට විසිවී යෑම ඌගේ ප්‍රීතියයි.මෙසේ සමිදාණන් තුළ අප ජයග්‍රාහි ලෙස යමක් කරන්නට යන විට,  ඌ නිතරම බාධා පමුණුවයි. සිත් අධෛර්යට පත් කරයි. අප මදකටවත් අධෛර්ය නොවෙමු.  අපව කැදෙව්වාවු සමිදාණන් සමග ස්ථීරවම සිටිමෙන්, උන්වහන්සේ අපව,අපගේ ජයග්‍රාහණය කරාද අපගේ අරමුණු කරාද රැගෙන යන්නට බලවන්තයි.

මාගේ ආදර පියාණෙනි, මා ඔබගේ දේව දරුවෙකු බැවින්ද, ඔබ මාගේ පියාණන් බැවින්ද මාගේ සතුරන් මා ඉදිරියෙහි, පරාජයට පත් වෙති. මන්ද ඔබ මා පක්ෂයෙහි බැවින් මා නිතරම ජය ගන්නෙමි. අද දින පටන් මාගේ ආත්මීක ජීවිතයෙහි සියළු බාධාවන් ඉවත් කළ මැනව. මේ කී දේ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් තුමන්ගේ නාමයෙන් - ආමෙන්.  

Raj Anthony  -  Kithuhada - Kurunegala _ Sri Lanka.

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න