අප සිත දෙස බලා සිටින ස්වාමින්වහන්සේ!

"එහෙත් ස්වාමින්වහනසේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස මහත දෙසවත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. ස්වාමින්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලන සේක. මනුෂ්‍ය බලන්නේ බාහිර පෙනීම දෙසය. එහෙත් සමිදාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය" වදාළ සේක. (1 සාමුවෙල් 16:7)

     අපගේ සමිදාණන් වහන්සේ අපගේ ශාරීරික ක්‍රියාකාරකම් වලට වඩා මනස, නැතහොත් සිත දෙස බලා සිටින සේක. සෑම දෙයකටම ප්‍රධන වන්නේ සිත ය. සමිදාණන් වහන්සේ ආත්මීකය, එම ශුද්ධාත්මය අප තුළ ක්‍රියාත්මක වීමට නම්, අප සිත, සමිදාණන් සමග සම්බන්ධ වී තිබිය යුතු ය. උන්වහන්සේගේ ශුද්ධ වචනයේ අප දකින්නේ,"මනුෂ්‍ය තෙමේ මුහුණ බලයි" යන්න ය. මන්දයත් සමිදාණන් වහන්සේ අප සිත දෙස බලා සිටිනවා පමණක් නොව අපගේ සිතුවිලි ද දන්නා සේක. එබැවින් අපගේ මුළු සිත් ස්වාමින් වහනසේට පුදා, සමිදාණන්ට තවතවත් දැඩිව ලංවෙමු.

     සමිදාණන් වහන්සේගේ බලවත්කම අප තුළ ක්‍රියාත්මක වීමට නම්, ප්‍රථමයෙන්ම සමිදාණන් කෙරෙහි දැඩි භක්තිමත් ඇදහිල්ලක්, අප තුළ ඇති කර ගත යුතු ය. සමිදාණන් තුළ සියල්ල කළ හැකි බව අප මුළු සිතින්ම විශ්වාස කළ යුතු ය. ජොෂුවා 1:6 හා 1:9 හී සදහන් කරන්නේ, "ශක්තිමත්ව, ධෛර්යමත්ව සිටින්න" කියා ය. අපගේ සිත් සමිදාණන් තුළ ශක්තිමත්ව, ධෛර්යමත්ව තිබෙන තාක් කල් උන්වහන්සේ අප ලවා මහත් දේ කරන සේක. අප ලවා මහත් දේ කරන්නා සේම, අපගේ ජීවිතවලටද මහත් දේ කරන සේක.

     රොටි 5 කින් සහ මසුන් 2 කුගෙන් සෙනග 5000 කට භෝජනය ලබා දීම සදහා ආශිර්වාද කිරීමට හැකි වූවා සේම, අපගේ ඇදහිල්ල අල්ප වූවත්, ඒ තුළින් අපට විරුද්ධව එන ඕනෑම අභියෝගයකට ‍නොබියව මුහුණ ‍දෙමියි කියා, අපගේ සිත් තුළ දැඩි ඇදහිල්ලක් ඇති කර ගනිමු. අබ ඇටයක තරම්වත්, ඇදහිල්ලක් ඇත්නම් මහත් දේ කළ හැකියි කියා උන්වහන්සේ ඉගැන්වූ පරිදි, අපගේ සිත් තුළ ඇදහිල්ලක් නොමැතිව සමිදාණන්ට අපගේ ජීවිත වලට සම්බන්ධවිය නොහැක.  ඒ නිසා අපගේ සමිදාණන් වහන්සේ, අප ජීවිත ගැනත් අප අනාගතයන් ගැනත් අපගේ දරුවන් ගැනත් අපගේ දරුවන්ගේ දරුවන් ගැනත් සියළු වගකීම් භාර ගෙන තිබෙන නිසා, අපගේ සිත් සැහැල්ලු කරගෙන සමිදාණන්ගේ පාද පාමුල තබමු. අද මේ දැන්, මේ මොහොතේ සිටම අපගේ සියළු කටයුතු උන්වහන්සේ තුළ, ජයෙන් ජය ලබා, සාර්ථක වන බව විශ්වාස කර ගනිමු.

මාගේ ආදර දෙවි පියාණෙනි, ඔබ මාගේ සිත දෙස බලා සිටින බැවින්, ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමි. මා තුළ ඇති ඇදහිල්ල තවතවත් වර්ධනය කළමැනව. මා තුළ බලවත් දේ කරන පිණිසද මාගේ ඇදහිල්ල ශක්තිමත් කළ මැනව. මේ කීදේ ජේසුස් කිස්තුස්තුමන් උදෙසාම අපට අපට ලැබේවා - ආමෙන් 
             ජේසු පිහිටයි!
                                කිතුහඩ - කුරුණෑගල
                                     රාජ් ඇන්තනි

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න