දිළින්දන්ට ප්‍රිතිය ළගාකර දෙන සමිදාණන්වහන්සේ !

"දුප්පත් සහ යටහත් පහත් අය ඉශ්රායල්හි ස්වාමින්වහන්සේ වන ශුද්ධ තැනැන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝ ය." (යෙසෙයා 29:19)

මනුෂ්‍ය සමාජයේ දිළින්දන්ව, දුප්පතුන්ව සිටින මනුෂයයන් බොහෝ අසරණ වෙති. එලෙසම ධනවත් පංතියේ මනුෂ්‍යයන් තමන්ගේ ධනය හේතුවෙන් තමන් සිතන පතන සෑම දෙයක්ම කළ හැකි බව සිතති. ඔවුන් ගත කරන ජීවිත සමග , අප ගත කරමින් සිටින ජීවිත සසදා බලන විට, අපගේ සිත් තුළ කිසියම් කලකිරීමක්ද ආත්මීක අධෛර්යකමක්ද ඇති විමට ඉඩ ඇත. නමුත් අපගේ දෙවි වූ සමිදාණන්වහන්සේ තමන්ගේ සෙනග තමන් ළගම රදවා තබා ගැනීම සදහා අපව තෝරා ගත් බව නිතර සිහි තබා ගනිමු.
මා සන්තකව හෝ මගේ දරුවන්ගේ හිමිකම කියන්නට අප සතුව කිසි දේපලක් නොමැත. මටම කියා අයිතිව ඇත්තේ සාමාන්‍යය කුඩා නිවසක් පමණි. නමුත් මම උන්වහන්සේ තුළ බොහෝ ශක්තිමත්ව , ප්‍රීතිමත්ව ආත්මීක ගමන ඉදිරියට යමින් සිටිමි. මා බලාපොරොත්තු වන, සිතන, උන්වහන්සේගෙන්  ඉල්ලන ඕනෑම දෙයක් උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම සදහා මගේ සමිදාණන්වහන්සේ මට සපයන අතර, මටත් මගේ පුංචි පවුලටත් අවශ්‍ය කරන සියළු දේද උන්වහන්සේ සපයන සේක.
මම වනාහි මධ්‍යම පංතියේ පවුලක වැඩිමහල් දරුවාය. මා සේවය පටන් ගන්නා විටදී මා සන්තකය කියා කීමට දෙයක් මට තිබුණේ නැත. අද මා සන්තකව මට අයිතිව තිබෙන කිසිවක් ගැන මගේ සිතේද නැත. නමුත් එක දෙයක් කරමි. මාගේ සමිදාණන් තුළ උන්වහන්සේ කරණකොටගෙන , පියාණන්වහන්සේගේ තෝරා ගැනීම සිහි සිහිකොට බොහෝ සේ සතුටින් සහ ශක්තිමත්ව මට පැවරී ඇති සේවා කොටස කරගෙන යමි.  එසේ කරන්නට ශුද්ධාත්මයාණන්වහන්සේගේ පිහිටාධාර මට ලැබෙන්නේ නම්, ඔබටත් එසේ කරන්නට උන්වහන්සේ බලවන්තය. ඒ නිසා අපගේ ආර්ථික පරිහානිය අප ප්‍රශ්නයක් කරගත යුතු නැත. ඇතැම් විට අපගේ ආර්ථික ස්ථාවරයේ ඇතිවුන වෙනසට හේතුව , අප උන්වහන්සේගෙන් මදක් හෝ ඈත් වුණු නිසා අපව කිසියම් පරික්ෂාවකට ලක් කිරීමක් විය හැකිය. නමුත් අප උන්වහන්සේ දෙසම බලා සිටිමු. උන්වහන්සේ තුළ ශක්තිමත්ව ඉදිරියටම යමු.

අපි යාච්ඤා කරමු
මාගේ ආදර දෙවි පියාණෙනි, මා ඹබගේ දරුවෙක් කරගැනීම ගැන ඔබවහන්සේට අනේක වාරයක් ස්තුති කරමි. අද දවසේ සිට ඒ ඒ දිනට අදාළ සියළු කාරණා කටයුතු ඔබවහන්සේට භාර කරමි. මට සුදුසු සියළු දේ මා වෙත සපයනු මැනවි. සියළු අගහිගකම් පහකර මා ප්‍රීතිමත් කළ මැනව. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන් - ආමෙන්

බයිබල් පොරොන්දුවක්
"දිළින්දාට දෙන අයට හිගකමක් නොවන්නේ ය, එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේ ය." (හිතෝපදේශ 28:27)

 රාජ් ඇන්තනි


Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න