ඔබ සහ මා, උන්වහන්සේගේ ස්වරූපයයි !

" දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක."

ඔබ ඇතැම් විට ඔබගේ පියාගේ හැඩරුව ඇති කෙනෙක් විය හැක. නැතිනම් මවගේ හැඩරුව විය හැක. දෙවි සමිදාණන් තමන්වහන්සේගේ මැවිල්ලේදී මෙබදු විශ්මිත සැලැස්මක් තබා තිබෙන සේක. එක පවුලක සතර දෙනෙක් සිටියොත්, ඒ සතර දෙනාම තම පියා වගේ නම් මවගේ වංශයේ හැඩරුව අහෝසි වනු ඇත. එමෙන්ම එම සතර දෙනා මව වගේ නම් පියාගේ වංශයේ හැඩරුව  අහෝසි වී යනු ඇත. නමුත් පුදුමයක් නම්, එක දරුවෙකු පිය හැඩරුව ගන්නා විට අනික් දරුවා මව් හැඩරුව ගනී. ඊළග දරුවා මව සහ පිය හැඩරු මුසු කරගනී. ඒ අප මැවුම්කාර දෙවි සමිදාණන්ගේ මැවීමේ ක්‍රියාවලියේ විශ්මිතයන් ය.
ඉහත දේව වචනයෙහි අපගේ මැවුම්කාර දෙවි පියාණන්වහන්සේ මනුෂයයා මවන විට තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවු සේක' යැයි ලියා තිබේ. එසේ නම් අප දෙවියන්වහන්සේගේ ස්වරූපයයි. උන්වහන්සේ අපට අසමසම ලෙස ආදරය කරන සේක. "සදාකාල ප්‍රේමයෙන් මම නුඹට ප්‍රේම කරමියි" කියා උන්වහන්සේ කී සේක. මෙසේ මව් ස්වරූපයෙන් සිටින දරුවා තම මවටත්, පිය ස්වරූපයෙන් සිටින දරුවා ඒ පියාටත් දාව උපන් බව, පිළිගන්නේ නම් උන්වහන්සේගේ ස්වරූපයෙන් මැවුවාවූ අපව, අපගේ දෙවි පියාණන්වහන්සේට අයිති බව අප මදක් ගැඹුරින් සිතා බැලීමේදී අපට, වැටහෙනු ඇත.
එසේ තමන්වහන්සේගේ ස්වරූපයට මැවුවාවු දෙවියන් වහන්සේ, අපගේ අවශ්‍යතාවයන් සියල්ලක්ම, සම්පූර්ණ කරන සේක. අපට කිසිදු අයහපතක් සිදුවන්නට උන්වහන්සේ ඉඩ නොදෙන සේක. අපව උන්වහන්සේගේ නෙත් මෙන් ආරක්ෂා කරන සේක. අප දෙස උන්වහන්සේගේ දෙනෙත් යොමුව ඇති බවටත්, අප සම්පූර්ණ සිතින් උන්වහන්සේව සොයන කල බලය පාමින් ක්‍රියාකරන්නට උන්වහන්සේ අපව සොයන බවටත් ලියා තිබේ. මේ සියල්ල සත්‍යයයි. අපගේ ජීවිත ගැන, අප මුහුණ දෙන අභියෝගයන් ගැන කිසිසේත් අපගේ සිත් නොකළඹා ගනිමු. ඔබ සහ මම උන්වහන්සේගේ හැඩරුවයි. උන්වහන්සේගේ ශරීරයේ ආකෘතියයි. ඒ නිසා උන්වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරන සේක. උන්වහන්සේ අපට ජය ලබා දෙන සේක.

අපි යාච්ඤා කරමු
මාගේ ආදර පියාණෙනි, මා ඔබගේ ආකෘතියක් බැවින් පොළවේ සියලු දේට වඩා ඔබ මා උසස් කොට තබන නිසාද සියළු ආධිපත්‍යය බලය මා තුළ ක්‍රියාත්මක කළ මැනව. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමෙන් - ආමෙන්.


බයිබල් පොරොන්දුව
" ඔබ දේවදූතයන්ට වඩා මදක් පහත් කළ සේක. ඔබ තේජසද ගෞරවයද නැමැති ඔටුන්න ඔහුට පැළදවූ සේක. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු ආණ්ඩුකාරයා කළ සේක." (හෙබ්‍රෙව් 2:7)


රාජ් ඇන්තනි.
  

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න