ඉවසිල්ලෙන් දුවන්නාට ජය !

" මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වටවී සිටින නිසා, සියලු අවහිර ද , පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා, ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙසම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට , වීර්යයෙන් දුවමු."(හෙබ්‍රෙව් 12:1)

අපව කැදවූ අපගේ දෙවි වූ, සමිදාණන්වහන්සේ අපගේ ආත්මීක මාර්ගයෙහි , යම් ඉලක්කයක් කරා දුවන්නට සැලසුම් කර ඇති සේක. අප නොනැවැති දිව්වොත් පමණක් දිනුම් කනුව කරා ලගා වී අපට , දිනුම ලබා ගත හැකි වනු ඇත. එහෙත් ඉහත දැක්වෙන දේව වචනයෙන් පැහැදිළි වන්නේ , ඉවසිලිවන්තකම නැති කමින් යම් යම් කරුණු කාරනා සිදුවිය හැකි බවත් , කුපිතව කෝපයට පත්ව "මට සියල්ල එපා වුනා" කියා බලාපොරොත්තු සුන් නොකරගෙන , මෙම ධාවනය ධෛර්යෙන් යුතුව දුවන්නට , අප අපව හුරු කර ගත යුතු බවය. කෝපයට පත්වීම හා නොසන්සුන්කමින් , අපගේ ආත්මීක මාර්ගය අවහිර වී , ජීවිතයට මහත් හානි සිදුවීමට ඉඩ තිබේ.
ශුද්ධ බයිබලයෙහි එපිස 6:16 වන පදයෙහි ලියා තිබෙන පරිදි , අපගේ පරම සතුරා වන සාතන් , අපගේ ඉවසිලිවන්තකම වනසා , අප දෙවි වූ සමිදාණන් ඉදිරියේදී උන්වහන්සේගේ උදහසට ලක් කර , අපව අපහසුවට පත් කර දැමීම සදහා , උගේ  'ගිනි හෙල්ලය' අප හදවතට නිතරම එල්ල කරගෙන සිටියි. නමුත් සාතන්ගේ  ඒ රැවටිලිකාර උපාය වලට අප හසු නොවී , අපගේ දෙවි වූ සමිදාණන්වහන්සේ තුළ නිසැකවම මෙම ආත්මික මාර්ගයෙහි ගමන් කිරීමට හැකි පරිදි , අවශ්‍ය සියලු කරුණු කාරනා උන්වහන්සේ පැහැදිළිව  ලියා අප අතට පත් කර ඇත. ශුද්ධ බයිබලය හොදින් කියවා හොදින් තේරුම් ගෙන , ඉවසිල්ලෙන් අපගේ ආත්මීක මාර්ගයෙහි , අපගේ දිවීම සිදු කළොත් අපට මහත් ජයක් ලැබීම ඒකාන්ත ය.
එහෙත් අප දිනපතා , උදෑසන පිබිදුන විගස , අප දෙවි වූ සමිදාණන්වහන්සේට සමීපවෙමින් , උන්වහන්සේව සොයන කෙනෙක් නම් ' අප සිත්වල සියළු කැලඹීම් නිසල වේවි' මන්ද අපට ආශිර්වාද කරන අපගේ දෙවි වූ , සමිදාණන්වහන්සේ අපව එම දවස පුරාම සාතන්ගේ උපායන්ගෙන් ආරක්ෂා කරමින් අප සමගම එම දවස ගත කරන සේක. අදෘෂ්‍යමානව අප ළගින්ම සිටින උන්වහන්සේ  කෙරෙහි විශ්වාසයෙන් සැම තත්පරයක්ම ගත කරමු. නොකඩවා යාච්ඤා කරමු. මොහොතක්වත් පාපී සිතුවිල්ලකට අප මනස තුළ ඉඩක් නොදී  සමිදාණන් තුළ ධෛර්යමත්ව නිරතුරුවම වාසය කරමු. උන්වහන්සේගේ මාවතේ , අපගේ දිනුම්පළ ඉතා ළගයි. ජය නියතයි.

මගේ ආදර පියාණෙනි, ඔබගේ ඉවසිලිවන්තකම නැමැති ආත්මීක ඵලය මා තුළ පුරවනු මැනව. මාගේ ආත්මික ගමන ජය ගන්නට මට උපකාර කළ මැනව. මා වෙත පැමිණෙන සියළු පරික්ෂා වලින් ජය ගන්නට ඔබ මා ශක්තිමත් කළ මැනව. මේ කී දේ අප ස්වාමි වූ ජේසුස් තුමන්ගේ නාමයෙන් - ආමෙන්

 රාජ් ඇන්තනි

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න