ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවීමේ ශක්තිය!

"....ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තිය ය. එබැවින් ශෝක නොවෙන්නැයි" කීවේය. (නෙහෙමියා 8:10)

     ස්වාමින්වහන්සේ තුළ සතුටින් ජීවත්වීම, උන්වහන්සේගෙන් අපට ලැබෙන විශාල ශක්තියක් බව, ඉහත කී දේව වචනයෙහි සදහන් වේ. සිත සන්තෝෂයෙන් නැතිනම් අපට ස්වාමින්වහන්සේගේ බලය අත්දැකීමට නුපුළුවන. උන්වහන්සේගේ අසමසම වූ ආදරයේ ගැඹුරට යෑමටද නොහැකි වේ. එමෙන්ම උන්වහන්සේගේ ක්‍රියාකාරකම් අපගේ ජීවිත තුළ අත්දැකීමටද නොහැකි වේ. ඔබ හා මා දවස්පතා දහසකුත් ප්‍රශණ වලට මුහුණ දෙන්නෙමු. එතුළින් අප නොයෙකුත් පීඩාවන්ට පත් වෙන්නෙමු. එම හේතුවෙන් අප බොහෝ සේ අධෛර්යට පත් වන වාර අනන්තය. නමුත් අපගේ දෙවි වූ ස්වාමින්වහන්සේ, කිසිදා අධෛර්යට පත් නොවුණු නිසා, උන්වහන්සේ තුළ සිටින අපට ද අධෛර්යකමට පත්වෙන්නට ඉඩ නොදෙන සේක. අප දැනට පීඩා මැද ගමන් කළත් අප ගමන් කරන්නේ, අපගේ ජයග්‍රාහණය වෙත බව සිහියේ තබා ගනිමු.
       අප කනගාටු වන්නේ සාමාන්‍ය ලෙස දෛනිකව අප එදිනෙදා මුහුණ පාන ප්‍රශ්ණ ගැනය. ඒ සියල්ල විසදා දෙන සර්වබලධාරි දෙවි පියාණන්වහන්සේ අප සමග ජීවමානව වැඩ සිටින සේක. අපව තම නේත්‍ර ලෙස රැකබලා ගැනීමට උන්වහන්සේ පොරොන්දු වී සිටින සේක. ඒ ගැන නොඅදහා අප, අපගේ ප්‍රශ්ණ මත හඩා වැලපීමෙන් ඵලක් වේද? නැත. කනගාටුව විසින්, අප තුළ ඇති ධෛර්යත්, ශක්තියත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයත් යන සියල්ල අඩපන කර දමයි. "මේ කනගාටුව නැත්නම් ශෝකය අපේ ශක්තිය හීන කරයි"  යනුවෙන් නෙහෙමියා 8:10 සදහන් කරන්නේ ය. අපගේ කනස්සළු ස්වාභාවය ඉවත ලා ප්‍රිතියෙන් සිටීමට උත්සහ කර ජය ලබා ගනිමු.
 මෙසේ යාච්ඤා කරමු.
ආදර දෙවි පියාණෙනි, පියෙක් තම දරුවන්ට සලකන්නා සේ, හා ඊටත් වැඩියෙන් ඔබවහන්සේ මා ගැන සළකන බැවින් මම ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමි. මාගේ අනාගතය ගැන සිතා, අද දවසේ කනගාටු නොවෙමි. ඔබ මාගේ මැවුම්කාර දෙවිදුන් නිසා මා ඔබ වහන්සේ ගැන බලාපොරොත්තු තබා ගෙන සිටිමි. එබැවින් මා ශක්තිමත් කළ මැනව. මේ කී දේ ජේසුස් ක්‍රිස්තුස්  නාමය උදෙසාම ලැබේවා - ආමෙන්.
 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න