නිතර අපව සොයන දෙවියන්වහන්සේ!

... දෙවි සමිදාණන් වහන්සේ මිනිසාට අඩ ගසමින්, "නුඹ කොහේ දැ" ඇසූ සේක.(උත්පත්ති 3:9)

     උන්වහන්සේ නිතර අපව සොයන, දෙවියන්වහන්සේ බව ඉහත බයිබල් පාඨයෙන් දැක්වෙයි. ඉහත දැක්වෙන දේව වචනය අනුව, උන්වහන්සේගේ මැවිල්ලේ දරුවන් වන ආදම් සහ ඒව ගෙන් "නුඹ කොහේදැයි" ඇසූ සේක. එසේ නම් ඔවුන්ව උන්වහන්සේ සෙවු බව සදහන් වේ. දෙවියන්වහන්සේ ඉදිරියෙන් පලා ගොස් ඈතට වි සැගවී සිටින්නට ඔවුන්ට සිදු වූයේ ඔවුන්ගේ අකීකරුකම නිසා ය.
      අප ආදි මවුපියන් යක්ෂයාගේ මායාකාර වචන වලට මුලාවූවා සේම, අපත් අප අවට සිටින දුෂ්ඨ මනුෂ්‍යයන්ගේ හඩටත්, මායාකාර මේ ලෝකයේ, අපව ගිලගැනීමට බලා සිටින, රූපවාහිනි සහ වෙනත් මාධ්‍යයන් හරහා කෙරෙණ බොරු සෝබන වර්ණනා හඩටත්,  මුලානොවී අපගේ දෙවි වූ ස්වාමින්වහන්සේ අපට දුන් ස්ථානයේ, කීකරුව, යටහත්ව, සන්සුන්ව සිටින්නට අදිටන් කරගනිමු.
     සුදුසු කාලයේදි අපව ඔසවන තුරු අපට, උන්වහන්සේගේ බලවත් හස්තය තුළ රැදී සිටින්නට කියා, උන්වහන්සේගේ වචනයේ සදහන් වේ. එමනිසා එම බලවත් හස්තය තුළ අප සිටිනතාක් කල් උන්වහන්සේගේ දෑස් නිතරම අප වෙත යොමුවන බව නොසැක ය. නුඹ කොහේද? කියා උන්වහන්සේ ආදම්ව සෙවු සේක. ඔහු කියා සිටියේ "මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහි ඇසී, මම නග්නව බැවින් භය පත්ව සැගවුනෙමි" යි කියා ය. ඔවුන්ට එසේ තමන් අතින් සිදු වූ වරද නිසා බියට පත්ව සැගවෙන්නට සිදු වුණි.
      මෙය කියවන ඔබගේ සිත නොකැලඹේවා! අපගේ දෙවි වූ ස්වාමින්වහන්සේගේ වචනයෙහි, උත්පත්ති 2;8 හි  "දෙවි සමිදාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවුමනුෂ්‍යයා එහි පිහිටෙවු සේක" කියා සදහන්ව තිබේ. නමුත් ඔවුන් දෙදෙනාගේ අකීකරුකම නිසා උන්වහන්සේ පිළියෙල කර දුන් ඒදන් උයනත් එහි බුක්තියත් සියළු ආශිර්වාදත් අහිමි කරගෙන ඉන් පිටව යන්නට සිදු විය. අපගේ දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සියල්ල සම්පූර්ණ කර හමාරය. අපගේ ආත්මික අකීකරුකම හෙවත් මුරණ්ඩුකම, රළුපරුෂකම ඇතැම් විට අපව උන්වහන්සේගේ අභිමුඛයෙන් ඈතට ගෙන යයි. එසේ මින්මතු සිදු නොවන්නට අද දින පටන් අදිටන්කර ගනිමු. අප ගැන මහත් ජයග්‍රාහි සැලැස්මක් ස්වාමින්වහන්සේ තුළ තබා තිබෙන සේක. උන්වහන්සේ සියල්ල පෙර සුදානම් ඇතුව කරන දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ අපගේ ජීවිතය ගැන සැලසුම් කර එම මාවත ඔස්සේ අපව රැගෙන යන්නට ක්‍රියා කර අවසාන ය. අප විසින් ප්‍රවේශමින්, යහපත් සිහියෙන් එම මාවතේ ගමන් කර ජිවිත ජයග්‍රාහණය ලබා ගත යුතුව ඇත.

මාගේ දෙවි පියාණෙනි, සෑම මොහොතකම මා ගැන අවදානයෙන් සිටින ඔබ වහන්සේට ස්තුතියි! ඔබ වහන්සේගේ දෑසට අසූවිමට තරම් භාග්‍යයක් තවම මට නොමැත. ඔබ වහන්සේට අකීකරු වී ආදම් ඒව මෙන් සැගවීමට මට ඉඩ නොදුන මැනව. අද දින සිටම ඔබ වහන්සේගේ දෑසට මා අසුවේවා. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් - ආමෙන්.

                                                                               ජේසු පිහිටයි!
                                                                                             කිතු හඩ -කුරුණෑගල 
                                                                                                   (රාජ් ඇන්තනි) 





  


Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න