ආලෝකය මැද පියවර තබන්න
ඔබ තුළ වෙනසක් විය යුතුය. ඒ කෙලෙසද? අද බොහෝ අය භාවිතා කරන යෙදුමක් ඇත. "Re Condition" යන යෙදුම අපත් එම යෙදුම ගෙන, එහි අරුත පරිදි, ඔබේ මනස නවීකරණය කිරීමෙන් ඔබටද ඔබ තුළ වෙනසක් ඇති කළ හැකිය.
ඔබේ සිතුවිලි කොයි තරම් දුරට නිර්මාණශීලීද? සාධනීයද? එපමණටම ඔබේ ජීවන රටාවද මටසිලිටි වනු ඇත. 
ඔබ මේ කියවන දේ ඔබේ මුළු ජීවිත කාලය තුළදීම අමතක කරන්න එපා! මතක තබා ගන්න. ........ 
ඔබ මනසට දමන දේවල් මොනවාද? .... ඉන් පිටතට එන ප්‍රතිඵලයද ඊට සමානය. 
විනාශය - අසතුට - විරසකය - නපුර - ඔබේ මනස තුළට දමන, ඔබේ පැතුම් මොනවාද?.......
ඔබට ලැබෙන්නේ අයහපතමය....
ප්‍රමාදව හෝ ක්ෂණිකව හෝ ඔබට ලැබෙන්නේ අයහපතමය...
කිළුට හා මඩ තවරා ගන්නා තැනත්තාට ඉන් මිදීම හෝ මඩ පිරිසිදු කර ගැනීම ඉතා උගහටය.
ආලෝකය මැද පියවර තබන්න. එවිට ඔබ වෙතින් ආලෝකයම පරාවර්තනය වනු ඇත.
හදවත ආදරයෙන් පුරවා ගන්න.එවිට අන් අයට ඔබගෙන් ආදරයම වැගිරෙන්නේය. 
ජීවිතයේ ශ්‍රේෂ්ඨ දේ කෙරෙහිම එල්බ ජීවත් වන්න. සන්තාපයේ ගිලී දිවි ගෙවීම අත්හරින්න. එය ප්‍රතික්ෂේප කරන්න. 
කුඩාම පක්ෂියකු මෙන් තණ තිල්ලේ සිට අහස් කුසට පියඹා ඉහළට යන්න. හදවත ඔසවා තබන්න.
ප්‍රශංසාවේ ගීතය ගයමින් ඉහළටම ඇදී යන්න. ප්‍රශංසාව කුමක් සදහාද? ඔබට උරුමව ඇති අතී උතුම් - අපූරු ජීවන දායදයන් සඳහාය.
ඔබ කෘතඥතාවයේ මානවයෙක්ද?
සාධනීයත්වයේ පුද්ගලයෙක්ද?
ඔබේ ඉහළ නැඟීම වැළක්විය නොහැක.
සාධනීය හැඟිම් ඔබ උසස් තලයකට පමුණුවයි.
කෙතරම් දුෂ්කර වුවද, ඔබ ඉගෙන ගන්නා ඕනෑම පාඩමක් වෙනුවෙන් ඔබ ස්තුතිය පළ කළ යුතුය.
ස්තුතිය පළ කිරීම බොහෝ අයට අමාරු - දුෂ්කර දෙයකි.  කෙතරම් දුෂ්කර වුවද එය ඔබ කළ යුතුමය.
ස්තුතිය පළ කිරීමේ ප්‍රතිඵලය ඉතා වටිනා වස්තු සම්භාරයකි.
තවමත් ඔබ ඉගෙන නොගත් වැදගත් පාඩම් බොහෝ ලොව තුළ තිබේ. ඒවා සොයා වහා ඉගෙන ගන්න. මුලදී ඔබට ඒවා ආගන්තුක විය හැක. එහෙත් නොබියව හා අකුටිලව ඒවාට මුහුණ පාන්න.
බාධක ජය ගන්න, ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවකි. 
අප්‍රමාදව ජය ලබන්නා වෙත විවෘත විමට බොහෝ සතුටු සම්පත් පුල පුලා බලා සිටියි. 
එකම වරද කරන පැරණි ග්‍රැමපෝන් තැටියේ ඉඳිකටුව ඔබට මතකද? එකම පදය සියක් වාරයක් වාදනය වෙමින්, යළි යළිත් වරද ලොවට පෙන්වීම එහි සිරිතයි... ඔබත් එබඳුද?
ඔබ එසේ නොවිය යුතුය. යළි යළිත් වැරදි කිරීම ඔබේ පුරුද්ද නම්, අපට ඒ සදහා උදවු කළ නොහැකිය. එය නිවැරදි කර ගත යුත්තේ ඔබමය. ඔබේ දක්ෂකම මත එය නිවැරදි විය යුතුය.
අගාධයෙන් ඔබ ගොඩට ගැනීම අන් අයට කළ නොහැකිය.
ඔබව වෙනස් කිරිම, ඔබට සැබෑවින්ම අවශ්‍යද?
සැබෑවින්ම අවශ්‍ය නම් පමණක් ඔබට එය කළ හැකිය.
ජයග්‍රාහි දිවි පෙවතක් ඔබට අවශ්‍යද? ඔබ එවන් දිවි පෙවතක් උරුමකරගන්නට අධිෂ්ඨාන කර ඇති බව පළමුව ඔබටම දැනිය යුතුය. 
ඔබ තිර ලෙසම එය උරුම කරගන්නා බවට දැඩි විශ්වාසයක්ද ඔබට තිබිය යුතුමය.
දැන්ම අරඹන්න.
ජිවිතයේ සංසුන් බව - සුවය විඳගන්න.
ජිවිතය රස විඳින්න. ප්‍රීතියෙන්ම විඳගන්න...
කිතුහඬ - කුරුණෑගල (ඇන්තනි)
 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න