ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න
විවේකය මිල කළ නොහැකිය. විවේකය ඉතාමත් අගනේය. විවේකය වෙහෙස දුරු කරයි. වෙහෙසින් හිඳ ඔබ කරන බොහෝ දේවල් වල ප්‍රතිඵල ඉතාමත් දුර්වල බව ඔබ අත් දැක ඇත. 
විවේකයත් සොබාදහමත් එකමුතුය. එමනිසා සොබාදහම සමඟ සමාන්තරව ගමන් කරන්න. 
සරලව - සතුටින්ම හිද ස්වාභාවිකවම කළ යුතු දෑ ඉටු කරන්න. 
ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න.
පුහු බලාපෙරොත්තු අත හැර දමා, දෑස හොඳින් විවර කර පියවර තබන්න. ජීවිතය ප්‍රීතියෙන්ම විඳ ගන්න.
ආදරය හා ප්‍රීතිය රහිතව ඔබ කරන කියන දෑ සියල්ල අයහපත්ය. ඔබටම අයහපත්ය. ඔබේම කැමැත්තට එරෙහි වූවකි. 
එය අන් අයටද අයහපත්ය. 
ජීවිතය පුදුමාකාර වස්තුවකි. විශ්මිත වස්තුවකි. එය විශ්මිත වන්නේ......
  • ජීවිතය කෙරෙහි ඔබේ දෘෂ්ඨිය නිවැරදි වූ විටය.
  • ඔබ ජීවිතය සමඟ ඒකමතිකවූ - කුළුපගවූ විටය.
  • ඔබ ඊට එරෙහි නොවූ විටය. 
ඔබට දැඩිව යමක් අවශ්‍ය නම්, ඔබ එය කෙසේ හෝ  ලබා ගන්නා බවක් මම මීට පෙර කියු බැව් ඔබට මතක ඇතියැයි සිතමි. එහෙත් ඔබේ අවශ්‍යතාවය, දෑඩි ආත්මාර්ථයේ අරමුණක්ම නොවිය යුතුය. එය සමස්ත ලෝකයටම සෙත සාදන අරමුණක් විම විශිෂ්ඨය.
ඔබ ආත්මාර්ථකාමිද?
එසේ නම්, සමාජයට - ලෝකයාට ඔබෙන් සිදුවන යහපතක් නැත්තේමය.  
යමක් ඉටු කිරීමට ඔබ බාර ගත්තාද? 
එසේ නම්,
එය මුළු හදින්ම ඉටු කරන්න. 
එසේ නොහැකි නම් ...... එය බාර නොගෙන සිටීම යහපත්ය.වැදගත්ය....
බොහෝ අය යමක් කරන්නේ - රැකියාවක් කරන්නේ යමක් කරන්නට ඕනෑ නිසාය. එහි ප්‍රතිඵලය කුමක් ද?
ජීවිතය අඳුරින් පිරී යාමය.
මෙය ජීවත් වීම නොවේ. ජීවත් විය යුතු ක්‍රමය නොවේ.
ජිවිතයක් පරිපූර්ණ විම වැදගත්ය. අඳුරු ජීවිතයකට පරිපූර්ණ විය නොහැකිය. 
ජීවිතයේ සැබෑ උරුමය ඕනෑවට එපාවට ජීවත් වන්නාට නොලැබේ. 
ඔබට ජීවන උරුමය අහිමිද? එහි වරද කරුවා කවුද? ඊට ඔබ දොස් පවරන්නේ කාටද? දොස් පැවරිය යුතුද? ඒ කාටද?
ඔබටමය.....
ඔබේ උරුමයන් මොනවාද? ඊට කෘතඥතාවය නොමසුරුව පළ කරන්න.
උරුමයන් ගැන කතා නොකරන්න. නිහඬව ඒවා නිහතමානීව බාර ගන්න. සරල සන්සුන් දිවිපෙවෙතක හැඩරුව එලෙසය. 
ජීවිතයේ කිසිවක් පටලවා නොගන්න. යහපත විවරව තිබියදි අයහපත ඇයි වැලඳ ගන්නේ? 
ඔබ අඥාන නොවේ, අන්ධ නොවේ, හිතුවක්කාර නොවේ.... ඔබට උරුම සාරධර්මයන් හා සම්පත් භාර නොගැනීමට තරම් ඔබ අවාසනාවන්තද නොවේ.
ලොව වෙසෙන බොහෝ අය අන්ධව දිවි ගෙවති. දෑස් තිබුනත් අන්ධයෝය. හදවත්ද වසා ගෙනය. ඇයි ඔබත් හදවත විවර නොකරන්නේ? 
අද විශේෂ දිනයක් ලෙස සිතන්න.
සැම දෙයක් තුළම විශේෂත්වයක් දකින්න. සෑම දෙයටම ස්තුතිය පළ කරන්න. ප්‍රීතිවිය යුතු සියලු දේ සමග ඔබ ප්‍රීතිවන්න.
ඒවා ඔබේය, උරුමයන්ය, උරුමකර ගන්න.
ඔබ ජීවිතය ප්‍රීතියෙන්ම විඳිය යුතුය.
අවට පරිසරය නරඹන්න. 
එහි ඇති විශ්මිතයන් හදට උරා ගන්න.
එක් විශ්මිතයකින් තවත් විශ්මිතයකට පා තබන්න.
එවිට ඔබේ මුළු ජීවිතයම පරිවර්තනය වේවි.
ප්‍රීති සාගරයක් වේවි!
 කිතුහඬ - කුරුණෑගල (ඇන්තනි)
   

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න