පියකුගෙන් දියණියට...

 
 මඩු වන්දනාව පිළිබඳ මතකය පියෙකුගෙන් දියණියට

ආදර දියණිය වෙතයි!

ඔබ බහ තෝරන අවධියේදීම ඔබේ ආදරණිය අම්මා, ඔබට අහිමිවීම තුළින් මවකගෙන් ලැබිය යුතු ආදරය, සෙනහස, උණුසුම ඔබට අහිමි වූවා. එමගින් ඔබට හිමිවිය යුතු දහසක් දේ අහිමි වුවත්, ඔබ වැඩෙන්න වැඩෙන්න, වයසින් මුහුකුරා යන්න, යන්න ඇගේ මතකය ඔබ තුළ ගොඬනඟන්න, රඳවන්න, එදා මා ආරක්ෂා කර තිබූ ඈ හා බැඳුණු සමහර දෑ මටත් හොරා ඔබේ භාරයට ගත්තා. මෑතක පටන් ඔබේ කණ්නාඩි මේසේ ඇගේ ඡායාරුවක්ද මා නෙත් ගැටුනා.
අද වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ බෝඩිමක තනි පංගලමේ ඔබ සිටියත්, මළවුන් අතර සිටින අම්මා එලොව ඉඳන්, ඔබව බලනවා. යන විශ්වාසය ඔබ තුළ තියෙන බවත්, එලොව ඉන්න ඇය වෙනුවෙන් ඔබ දෙවිඳුන් යදින බවත්, ඇය වෙනුවෙන් පින්දහම් කරන කරන බවත් මම දන්නවා. එදා පාසැල් වියේ මාතෘත්වය අගයමින් ලියු කවි සිංදු, ඇන්ද චිත්‍ර ඒ හැම එකක් තුළින්ම ඇගේ රුව ගෞරවාන්විතව ඔබේ මතකයේ රඳවා ගන්න වෙරගන්නවා, ඒක ස්වාභාවිකයි.
මඩු මෑණියන්ගේ ප්‍රතිමාව අපේ නගරයට වැඩම කරවන දිනවල, අපේ ගේ ගාව තියෙන වට රවුමේ මඩු මෑණියන්ගේ චිත්‍රයක් ඇඳලා ගහන්න, අපේ ආචාර්ය මණ්ඩලයෙන් සහාය ලබාගන්නා වේලේ, තවත් අන්‍ය ආගමික අයෙක්, ඔබගේ මතකයේ අම්මාට ඔබගේ ඇති ගෞරවය හා සැසදෙන ප්‍රශ්නයක් මගෙන් ඇහැව්වා. මම ඒ අයට මෙහෙම කිව්වා. "ඔබ වසරක් පාසා වසර ගණනාවක් තිස්සේ නොකඩවා භක්තියෙන් පවුලේ සැම එක් කරගෙන කතරගම යනවා. ඔබ ඒ ගමන ගැන කථ කරන්නේ කොයි තරම් සතුටු සිතින්ද? ආඩම්බරයෙන්ද? යම් ලෙසකින් අපට වගේ අවුරුදු 15 ක් 16 ක් යන්න නොලැබී, පසුව ඔබේ නිවස ඉදිරිපිටින් එම දේව රූපය ඔබේ නගරයට වැඩම කරවනවා කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ? ඔබ කොහොමද පිළිගන්නේ?" කියලා මම ඇහැව්වා.

මඩු වන්දනා ගමන තුළින් එදා අපේ ජීවිත අමුතුම ප්‍රබෝධයක් ලැබුවා. අධ්‍යාපන තරඟය නිසා අද තරම්ම අවිවේකි බවක් අප න්‍යෂ්ඨික පවුල තුළ නොතිබුණත්, ආර්ථික භෞතික අපහසුකම් කොතෙකුත් තිබුනා. එදා අපේ විස්තීරණ පවුල, අම්මලා තාත්තලා අයියලා අක්කලා ආච්චිලා සීයලා සමහර විට නැන්දලා මාමාලත් එකට එක්ව, වරෙක ලොරි වලිනුත් වරෙක දුම්රියෙනුත් මෙම රූපය, අරක්ගත් මඩු දේවස්ථානයට වන්දනා ගමන් ගියා. එය අපේ වාර්ෂික අනිවාර්ය ගමනක් වූවා. අපේ යුගයට පෙර ආච්චිලා සීයලා සති ගණන් කරත්ත වල නැඟලා, කරත්ත වලින් ඒ මඩු ගමන ගිය අපූරුව ඔවුන් මැරෙන තුරා, යළි යළි ඔවුන් සිහි කළේ හරිම ආදර ගෞරවයෙන් ඒ වාගේම ලොකු භක්තියකින්, විශ්වාසයකින්. ඒ අය එමඟින් ලැබු වරම් ඒ හා බැඳුනු ප්‍රතිහාර්යයන් ගැනද නොයෙක් දේ කිව්වා.
මම පවුලේ බාලයා වුනත් මේ මඩු ගමන හා බැඳී තිබු කාර්ය පටිපාටිය නිසාම මටත් වෙනදාට වඩා පිළිගැනීමක් ලැබුණා. මංගල්‍යයට යනවා නම් අයියාටත් මටත් අන් අයට පෙර යන්න සිද්ධ වුනා. මොකද අපේ කුඩාරම ගහන්න ස්ථානය වෙන්කර ගන්න දින 6-7 ක් කාලා බීලා නිදාගන්න ස්ථානයක් වෙන්කර ගන්න. රෑ දුම්රියට ගොඩවෙලා පාන්දර මඩු රෝඩ් දුම්රිය පොලින් බැහැලා, එතැන් පටන් එළිය වැටෙන කම් ඉඳලා, කැලෑව ඇතුළට හැතැක්ම 7 ක් ගිහින් සාරි රෙදි, කොළ අතු වලින් අපේ සීමාව, අපේ වාඩිය වෙන්කර ගන්නවා. එතැන් පටන් ආච්චිව සියාව බඩු බාහිරාදි බලාගන්න වාඩියේ නවත්තලා, අයියටයි මටයි දර කඩන්න, වතුර අදින්න යන්න වුනා. සාමාන්‍ය‍යෙන් ගමේදි, මාර්කට්ටුවට දෙහි ගෙඩියක් ගන්න යන්නත්, කලිසන් කෝට් ඇඳපු මගේ පියා - දුවේ, ඔබේ සීයා මේ ගමනට ඇන්දේ සරම. මේ ගමන නිසාම අපටත් අලුතින් සරම් අක්කලාට ගවුම් කාටකාටත් මෙහිදි අඳින්න අලුත් ඇඳුම් පයට ලී කට්ටා සෙරෙප්පු (ඒ කාලේ ශත 25ට 30ට තිබුණ ලී සෙරෙප්පු වර්ගයක්) ලැබුනා.
කොහොම කොහොම හරි තම තමනට පැවරුනු වැඩ කොටස ඉවර වෙලා, ඇඟපත සෝදාගෙන පැමිණ නඩේ සැම එකට එක්ව ඒමට වරම් දුන්න, ගතවු වසරේ ලැබුණ වරම් වලට, දෙවි පියාට, දෙව් මවට තුති පුදන්න, ඉටිපන්දම් පත්තු කරන්න,දේවස්ථානයට ගියාම කොන්ත පංතියේ මුල් කොටස බෙදාගන්න, ප්‍රාර්ථනාව ඇදල කියන්න, අප අතරේ තරඟයක්. වාඩියට එන ගමන් කඩ රවුමේ ගොස් අඩුපාඩු රැගෙන තවත් ඇත්නම් වාඩියේ අතු කොළ වැටෙන් එහා ඉන්න පවුලක් එක්ක බෙදාහදා ගෙන වසර ගණනක් දන්න හඳුනන අය වගේ ඇයි හොඳයිකම් ඇති කරගෙන මුල් යුගයේ, කිතුණුවෝ වගේ (ක්‍රියා පොතේ 2:42-47) සැමදුක සැප එකට බෙදා හදාගෙන දින කීපයක් එක මවකගේ දරුවෝ වගේ මඩු මව් තුරුලේ ජීවත් වෙනවා. කොළ අතු සහ සාරි වැටෙන් එහා ඉන්නා අය අපට වඩා වත්පොහොසත්, බලයෙන් උසස් වුනත්, පහත් වුනත්, හිරමනය පිහිය පමණක් නොවෙයි, පිසූ ආහාර පිඟනුත් එහාට මෙහාට හුවමාරු වෙනවා. ඒ අයත් අපි වගේම බිම වැටිලා මැටි පොළවේ, ගස්යට, අව්වේ පින්නේ තමයි දවස ගෙවන්නේ. අපි වගේම ටින් බෙලෙක්ක උස්සාගෙන වැසිකිලි කැසිකිලි කියලා, කැලේට රිංඟනවා. වසර ගණනක් මේ වන්දනා ගමනට මෙලෙසින් යන කොට අපිට, වාඩි යාළුවොත් ඇති වුනා. ඥාති සම්බන්ධකම් ගොඬනැඟුනා.
කාටත් නාන්න වතුර සැපයුම 10- 2 වෙනකම් විතරයි ලැබුනේ.මුල් කාලවලදී වැවෙන් නාන්න ඉඩ දුන්නත්, වන්දනා කරුවන් වැඩිවෙන්න, වැඩිවෙන්න වතුර කරාම හයි කරලා, නාන ස්ථාන වෙන් වුනා. සරම ඇඳලා තුවාය කරේ දාගෙන නාන්න යනකොට, අපේ සර්ලා මිස්ලා ගමේ රටේ වැදගත් කියන අයත් අපි වගේම නාන්න යනවා. උස අය හිටගෙන, නාන කොට, මිටි අය යටින් වතුර කරාමෙට ඔලුව අල්ලනවා.
දේවස්ථාන කාලසටහනට කවුරුත් වැඩ. ස්වාමිගේ අණට කවුරුත් යටත්. පූජාව - යාච්ඤා, ඉටිපන්දම් පත්තු කිරීම, ශුද්ධවු පැය, දෙබස් දේශනා, ගැයෙන ගීතිකා දින ගණනක් එක දිගට, එකම ඥාණකාන්තියක්, එකම ධර්ම විවේකයක් වුනා.
ඔය අතරේ විවේක දිනයක බස්වල නැඟලා මන්නාරම්, මුරුංගන් වගේ දෙමළ සහෝදර ජනතාව වෙසෙන ප්‍රදේශවලටත් යනවා. මාළුවෝ කකුළුවෝ ගේනවා. කවුරුත් බෙදා ගන්නවා. තව සමහරු තවතවත් කැලෑ ඇතුලේ තියෙන කැලෑ පල්ලිවලට යනවා. දෙමළ ගම්මාන වලට යනවා. ඒ දිනවල කකුල් දෙකේ නෙවෙයි, කකුල් හතරේ කොටි හිටියත් අපට භයක් ඇති වුනේ නැහැ දුවේ. ඒ ගම්මානවල හිටපු දෙමළ සහෝදර වරුන්ගෙන් තල් අල, තල් පිනාටු ගමේ අයට අපි ගේනවා. රෑට බත් කාලා ඉවර වෙලා, ඒ අයගෙන් අඹ අරගෙන ඒවා කකා වීදි ගානේ ඇවිදිනවා. ඒ අය හා අපි අතර වෙනසක් දැනුනේ නැහැ. ඒ අය අපිත් එක්ක සිංහලෙන්, අපි ඒ අයත් එක්ක දෙමළෙන් මාරුවෙන් මාරුවට පූජාව ඇහැව්වා. කොන්තේ කිව්වා. වලං කඩේ ජෝශප් අය්යයි,තැපැල් කන්තෝරුවේ උපතින්ම ආබාධිතව සිටිය තැපැල් මහත්තයයි දෙමළ වුනත්, සැමවිටම හිටියේ අපේ ගමට ආපු මේ අයට, අපෙන් මොනවද කෙරෙන්න ඕනේ යන ආකල්පයෙන්. වතුර පයිප්ප ගාව, ලිං ගාව ඉඳන් වතුර ගත්තා. ඒ බිමේ අපි ඉන්නකම් දොර යතුරු, ඉබි අගුල්, බොරු ශෝභන ඇඳුම් ප්‍රදර්ශනවත්, පොහොසත්කම්, දැන උගත්කම්, පංඟුබේරු, සංඩු සරුවල් තිබුනේ නැහැ දුවේ. මෙලෙසින් අපි කවුරුත් ඒ දේව අම්මාගේ අඩවියේ එක පවුලක දරුවෝ බවට පත් වුනා.
ඒ දේව අම්මාගේ මුහුණ දකින විට මගේ අම්මා තාත්තා, ඒ සුන්දර සිතුවිලි සියලු මතකයන් අවදිවී මටත් හොරා මගේ යටිසිත මෙසේ යැදුමක් කලා."මේ සුන්දර දිවයින තුළ යළිත් භියෙන් තොරව නිදහස්ව නිවහල්ව සතුටින් ජීවත්වීමේ වරම ඔබේ මැදිහත් කමින් අපේ දරුවන්ට ලබා දුන මැනව" කියා.

මෙයට ඔබේ ආදර තාත්ති,

ජෝර්ජ් කටුගම්පල  

(2001 අප්‍රේල් 29 ඉරිදා ඥානාර්ථ ප්‍රදීපයේ ළමා ප්‍රදීපය පිටුවේ පළවූ ලිපියකි.)   

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න