කිතුණු විවාහය දෙස

කිතුණු විවාහය දෙස බැල්මක්...

කිතුණු විවාහය කිතුණු අපට ශුද්ධවූ තත්වයකි. දෙවි පියාණන් තම ස්වරූපයෙන් මැවු මිනිසා, විවාහය මඟින් මැවීමේ දේව කාර්යයට සහභාගි වෙයි. එමනිසා විවාහය පිළිබඳවත් ඊට අදාළ ක්‍රියාවන් සහ යුතුකම් පිළිබඳවත් මනා අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය.
ප්‍රථමයෙන්ම විවාහය හා ලිංඟික ක්‍රියාවලියන් ද ගැන පොදු සමාජයෙන් අහුලා ගත් විකෘති අදහස් සහ ආකල්ප තම මනසින් ඉවත් කළ යුතුය. විවාහයත්, ස්ත්‍රි-පුරුෂ දෙපක්ෂය අතර පවතින ඇසුරත් පාපයෙන් පිරුණ පාපයටම තුඩුදෙන අනර්ථයක් ලෙස සිතීම වැරදිය. විවාහය ඉතා උසස් පූජනීය තත්වයක් ලෙස සලකන්නටත් එහි ඇති වැදගත්කම අවබෝධ කර ගන්නටත් මෙම මිනිස් ඇසුර, ලිංඟික ආශ්වාදයක් පමණක්ම නොවන බවත් තේරුම් ගන්නටත් අප පොහොසත් විය යුතුය.
ළදරු කාලයේ සිටම තමා අවට පරිසරයෙන් හා පොදු සමාජයෙන් ලබන ආදර්ශයන්ගෙන් විවිධ ආකල්ප වර්ධනය කර ගනිමින්ම පුද්ගලයා සම්පූර්ණ වෙයි. එබැවින් අප අවට පරිසරය විකෘති කාමයෙන් කිළුටු වී ළමා මනස තුළ පාපය ගැන අනිසි බියක් ඇති කිරීමත් පාපය කෙරෙහි ඇති චකිතය නැති වන්නට සැලසීමත් භයානක වූ වරදෙකි. දේව පනත්, හයවන හා නවවන පනත් වලට සීමා වී නැත. අනිත් පනත් අටට විරුද්ධවද පව් සිදු විමට ඉඩ ඇත. මෙලෙස බලන කළ ජීවිතයේ එකම අරමුණ පාපයෙන් මිදි සිටීමත්, විශේෂයෙන් ලිංඟික පාපයන්ගෙන් මිදී සිටීමත් ය, යන හැඟීම තහවුරු කිරීම වැරදිය.
විවාහය සුළුවෙන් සිතා හෑල්ලුවට පාත්‍රවිය යුතු දෙයක් නොවේ. එය හුදෙක් ලිංඟික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමේ කොණයෙන් බැලූවිට දූෂිත වෙයි. ස්ත්‍රි-පුරුෂ සම්බන්ධතා විවාහයෙන් බැහැරව පවත්වා, තම මනදොළ පිනවන්නටම තැත් කරන පුද්ගලයෝ විවාහයේ පාරිශුද්ධ භාවය කෙලෙසති.
විවාහය ප්‍රේමයේ උත්තරීතර අවස්ථාවකි. නූතන සමාජය තුළ එය කෙලෙසෙමින් පවතින නමුත් කිතුණුවා විවාහය තුළින් ශ්‍රේෂ්ඨ දේව දීමනාව හඳුනා ගත යුතුය. එනම් විවාහය තුළින් ප්‍රථමකොට -ප්‍රේමය වන දෙවියන් වහන්සේගේ දේව ස්වාභාවට සහභාගි වීමේ අවසරය ලැබෙන්නේය. දෙවනුව - ප්‍රේමය තුළින් දරුවන් බිහි කිරීමේ (මැවීමේ) ක්‍රියාවට සහය වීමේ මහිමය හිමිකර ගන්නේය.
මෙම කරුණු නිසාම කිතුණුවන් වන අප, විවාහ - ප්‍රේමයත් දරුඵල ලැබීමේ සම්බන්ධතාවයත් සුළු කොට නොතැකිය යුතුය.  
 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න