වසරේ මහා ජපමාල රැලිය කුරුණෑගල


Home / බ්ලොග් / 2013 වසරේ මහා ජපමාල රැලිය කුරුණෑගල දී
2013 වසරේ මහා ජපමාල රැලිය කුරුණෑගල දී

2013 වසරේ මහා ජපමාල රැලිය කුරුණෑගල දී

පසුගිය ඔක්තෝබර් 16 වන දා කුරුණෑගල පදවියේ පැවැත්වූ 2013 වසරේ මහා ජපමාල රැලිය ඉතා සාර්ථකව ගරුගාම්භිරත්වයෙන් සිදුවුනි. ලක්ෂයකට අධික කිතුණු ජනතාවක් කුරුණෑගලට එක්වූ මේ අවස්ථාව කිතුණු අපට මහත් අභිමානයකි. කිතුණුකමේ ප්‍රබලත්වය, සාමකාමිකම, නිහතමානීකම, එකමුතුකම, ආදර්ශමත්කම වැනි උසස් මහාත්මා ගුණාංඟ ගණනාවක් මනාව ප්‍රදර්ශනය විය.  මෙම රැලිය කලකට පසු දුටු ඉතාමත් සාර්ථක රැලියක් බව නොකියාම බැරිය. කුරුණෑගල මාළිගාපිටියේ පැවැත්වුන මෙම ජපමාල රැලියට දිවයිනේ සතරදික්භාගයෙන්ම කිතුණු ජනතාවක් එක් රොක් වී සිටියහ. කුරුණෑගල සාන්ත ආනා විදුහල් බිමෙන් පෙරවරු 9.00 ට ඇරඹුණ, මහා ජපමාල රැලියේ පෙරහර ඉතා සිත්ගන්නා සුළු දසුනක් විය. නිර්මල මරිය මාතාවගේ වර්ණය වූ නීල වර්ණයෙන් සහ සුදෝසුදු වර්ණ වලින් සැරසුන කිතුණු බැතිමතුන්ගේ සාන්ත සන්සුන්බව අවට රැස්ව සිටි නොයෙකුත් විවිධ ආගමීක ජනතාවගේ පැසසුමට හා ගෞරවයට පාත්‍රවිය.  
  
අතිඋතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුන මෙම රැලියේදි, එතුමන්ගේ දේශනය ඉතා කාලෝචිත එකක් විය.  නිර්මල කන්‍ය මරිය තුමියගේ උතුම් මව්පදවිය කේන්ද්‍ර කරගෙන ඇරඹු දේශනය තුළ ලෞකික මවකගේ උතුම්බව විශාල ඇගයිමකට ලක්විනි. කිතුණු අපට ලෞකික මවක් මෙන්ම ස්වර්ගීය මවක් වශයෙන් දේව මාතාවන් සිටින බව සිහි ගන්වන ලදි. එතුමිය මෙම පොළෝතලය මත දර්ශනය වූ සෑම අවස්ථාවකදීම යහපත් සාමකාමී ජීවිතයක අගය කියා දෙමින් ඒ සඳහා ජපමාලය නිතර නිතර භාවනා කරන ලෙස ඉල්ලා සිටිය බව මතක් කර දෙනු ලැබුණි. එමෙන්ම තම ශ්‍රී කුසින් බිහි කළ ක්‍රිස්තුස් වහන්සේ වින්ද කටුක දුක් වේදනාවන් මවක ලෙසින් තම දෑසින් දැක හද පැලෙන තරම් වික්ෂෝප වූ ඒ උද්වේගිවත් මොහොත සිහිපත් කරදුන්, කාදිනල් හිමිපාණන්, ක්‍රිස්තුස් වහන්සේ තම ජීවිත පරිත්‍යාගයෙන් දිනා අප වෙත පරිත්‍යාග කළ විමුක්ති මාර්ගය මෙන්ම අප වෙත ප්‍රදානය කළ අනිත් උතුම්ම ත්‍යාගය වන්නේ, තම මව් තුමිය වන දේව මාතාවන්ය. එය, එතුමන් අපට දුන් විමුක්ති මාර්ගයට අත්වැලක් ලෙස සැලකිය හැකි වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තම ප්‍රථම ප්‍රාතිහාර්ය ඉටු කලේ තම මෑණියන්ගේ ඉල්ලීම අනුවය. ඇය ක්‍රිස්තුස් වහන්සේව තම කුසයෙහි දරා සිට බිහි කලාය. ක්‍රිස්තුස් වහන්සේ හදා වැඩුවාය. ක්‍රිස්තුස් වහන්සේගේ අදර මව අපගේද ස්වර්ගීය මවවීම, කතෝලික අප භාග්‍යවන්තය. දේව මාතාවන්ද අප වෙත කරුණාපාමින් අදත් අපගේ යැදුම් ඉෂ්ට සිද්ධ කර දෙමින් ස්වර්ගීය මවක් ලෙසින් අපට සහය වන බවත්, දේව මාතාවන් කේන්ද්‍ර කරගෙන අප භාවනා කරන ජපමාලය, ක්‍රිස්තුස් වහන්සේ අපට උගැන් වූ “ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි” යාච්ඤාවෙන් ද ගාබ්‍රියල් දේව දූතයාණන් කන්‍යා මරිය තුමියට දර්ශනය වෙමින් “නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තියෙනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය” යන මංගලම් කීමේ කොටස ද මරිය තුමිය එළිසබෙත් තුමිය බැහැදැකීමට ගිය අවස්ථාවේ දී එළිසබෙත් තුමියගේ මුවින් පිට වූ “ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.” යන පිළිගැනීම් වැකිය ද මුසු වී නිර්මාණය වී ඇති ජපමාල භාවනාවේ අගය ගැන රැස්ව සිටි කිතුණු සැදෑහැවතුන්ට මනාව පහදා දෙන ලදී.  

 කාදිනල් හිමිපාණන් අතින් මාළිගාපිටිය තුළ තනා තිබූ මණ්ඩපයේ පූජාසන මත දිව්‍ය යාගය, සිදු විය. ඊට සියලු පදවි නියෝජනය කරමින් කුරුණෑගල පදවි නායක රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් ප්‍රමුක, අනිකුත් පදවි නායක රදගුරු අති උතුම් හිමිවරුන් මෙන්ම විශාල පූජාප්‍රසාදීන් වහන්සේලා සහ කන්‍යා සොයුරියන් පිරිසක් ද සහභාගි වීමෙන් ජපමාල රැලිය තවත් ආලෝකමත් විය.    යහපත් කාලගුණයක් දානය කරමින් ජපමාල රැලියට ආශිර්වාද කළ දෙවි පියාණන්ට ප්‍රශංසා කරමින්.. ඔබ සැමට ජේසු පිහිටයි!
කිතුහඬ – කුරුණෑගල
www.kithuhada.com

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න