දිව්‍ය පූජාවේ "ආමෙන්" දොලොස

දිව්‍ය පූජාවේ "ආමෙන්" දොලොස

 

කතෝලික අප යාච්ඤා කරන විට පාවිච්චි කරන වචන අතර අනිවාර්යෙන්ම සහ බහුලව භාවිතා වන වචනය ආමෙන් වචනයයි. මෙම වචනය සෑම කිතුනුවෙක්ම හොදහැටි දන්නා සහ අසීමිත ලෙස උච්චාරණය කරන වචනයකි. මෙම වචනය අප හට ආගන්තුක නොවූවත් එහි අර්ථය සහ වටිනාකම ආගන්තුකය. එදිනෙදා ජීවිතයේ යාච්ඤා වලදී අසීමිත ලෙස මෙම වචනය උච්චාරණය වූවද නිශ්චිත ලෙස මෙම වචනය දොලොස් වචාවත් උච්චාරණය කරන්නෙමු. ඒ සෑම ආමෙන් උච්චාරණයකටම දිව්‍ය යාගය තුල විශේෂ අරුතක්  ඇත. එම නිසා දිව්‍ය පූජාවට පංගුකාර වන්නන් මෙම අකුරු තුනේ වචනය දොලොස් වතාවක් ප්‍රකාශ කලත් එම එකම වචනය දොලොස් වතාවත් සෑදහැවතුන්ගේ විශ්වාසය දොලොස් පැතිකඩකින් ආලෝකමත් කරයි. ආමෙන් දොලොසට අවතීරණ වීමට පෙර ආමෙන් යන වචනයේ තේරුම දැනගැනීම යොග්‍යය.
ආමෙන් යන වචනය හේබ්‍රෙව් භාෂාවේ ''අමාන්" යන වචනයෙන් උපන් වචනයකි. එහි තේරුම නම් තහවුරු කිරීම හෙවත් ස්ථීර කිරීමයි.
ආමෙන් යන වචනය සැදී ඇත්තේ ''ආලෆ් '' (alef) ''මෙම්'' (mem) ''නූන්'' (nun) යන හේබ්‍රෙව් අක්ෂර තුන එක්කොට ගනිමිනි.
මෙම අක්ෂර තුන උපයෝගි කර ගනිමින් දෙයාකාරයකට මෙම වචනය අරුත්ගැන්විය හැකිය. පලමු අරුත් ගැන්වීම කර ඇත්තේ මෙම අක්ෂර තුනේ සම්භවයන් උපයෝගී කොට ගනිමිනි. ඒ අනුව මෙම අක්ෂර තුන සැකසී ඇත්තේ හේබ්‍රෙව් වචන තුනක මුල් අකුර එකට එක්කිරීමෙනි අලෙෂි අකුර එල් (EL) වචනයේ මුල් අතුරයි. එහි අර්ථය දෙවියන් යන්නයි. මෙම් අතුර එනුයේ ''රජ'' යන අරුත් ඇති ''මෙලෙක්'' (MELEK) යන වචනයෙනි. ''නූන්'' අක්ෂරය ''විශ්වාසවන්ත තැනැත්තා'' යන අරුත් ඇති ''නමාන්'' (NAMAAN) වචනයේ මුල් අකුරයි. මෙම වචන තුනේ අර්ථය එක්කොට ගත්කල ආමෙන් යන වචනයේ තේරුම වනුයේ ''දෙවිදානෝ රජානන්ද විශ්වාසවන්ත තැනැත්තාද වන සේක'' යන්නයි. අපි ආමෙන් කියන වාරයක් වාරයක් පාසා අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කරන්නෙමු එබැවින් ආමෙන් යනු හුදෙක් යච්ඤාවක් අවසාන කරන වචනයක් නොව මෙම යාච්ඤාවට සවන් දෙන සවිබලැති දෙවි සමිදානන් කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කිරීමකි.
ආමෙන් වචනයේ දෙවන අරුත් ගැන්වීම කර ඇත්තේ හෙබ්‍රෙව් අක්ෂර තුනේ සංඛ්‍යාත්මක වටිනාකම පදනම් කරගෙනය හේබ්‍රෙව් අක්ෂර මාලාවේ සංඛ්‍යත්මක වටිකාකමට අනුව ආලේෆ් අකුරේ වටිනාකම 1කි මෙම් අකුරේ වටිනාකම 40කි නූන් අකුරේ වටිනාකම 50කි මෙම අක්ෂර වල මුළු වටිනාකම 91කි මෙම සංඛ්‍යාවේ බැරෑරුම්කම තේරුම් ගැනීමට පුරාණ ගිවිසුවේ තවත් වචන දෙකක් තේරුම්ගත යුතුය. එම වචන දෙක නම් ''යාවේ'' (THWH) සහ ''අදොනායි'' (ADONAI) වචන දෙකයි. යාවේ යන වචනය පුරාණ ගිවිසුම තුල 6828 වතාවත් ලියවී තිබුනද එම වචනය උච්චාරණය කිරීමට පවා බියවූහ. ඒ වෙනුවට ඔවුන් උච්චාරණය කල වචනය නම් "අදෝනායි" යන්නයි. මෙම වචන දෙකම දෙවියන් වහන්සේගේ නාමය හෙලිකරන වචනයි. මෙම වචන දෙකටද සංඛ්‍යාත්මක වචිනාකමක් ඇත. යාවේ යන වචනයේ අගය 26කි ආදානායි වචනයේ අගය 65කි මෙම වචන දෙකෙහි සංඛ්‍යත්මක වටිනාකමේ මුළු එකතුව 91කි. එය ආමෙන් වචනයේ සංඛ්‍යාත්මක අගයට සමානය. එමනිසා ආමෙන් යන වචනය දෙවියන් වහනසේගේ නා‍මයේ වටිනාකම අන්තර්ගත කොටගත් වචනයකි. එම සත්‍යතාව ජුදෙව්වන් හොදහැටි දැන සිටියහ. එබැවින් ඔවුන් එම වචනය උච්චාරණය කලේ එහි අර්ථය බැරෑරුම් කම සහ වටිනාකම ගැන මනා අබෝදයකින් යුතුවයි. ඔවුන් එසේ නිවැරදිව සහ පූර්ණ අවබෝධයකින් යුතුම උච්චාරණය කලේ දෙවියන් වහන්සේගේ සුවිශුද්ද නාමයට කිසිම අකාරයක අගෞරවයක් නොව පිණිසය.
ආමෙන් යන වචනයේ ගැන ලබාගත් මෙම සුළු අවබෝධයත් සමග ඉදිරි ලිපි 12 තුල දිව්‍ය පූජාවේ ආමෙන් ප්‍රකාශන‍ දොලස අවබෝධ කර ගනිමු.

[ Article by - Fr. Alex Janaka Fernando- Rome ]

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න