දෙවියන් වහන්සේ

කිතු දහම දේවවාදි ය. නමුත් කිතු දහමේ හඳුන්වා දෙනු ලබන දෙවිඳාණන් සෙසු ලබ්ධීන් හඳුන්වා දෙන දෙවිවරුනට සමාන නොවෙයි.
නොයෙක් ආගම්වල දෙවිවරුන් ගැන සඳහන් වේ. ඇතම් දෙවිවරු පළාත් බාරකරුවෝ ය. තවත් විටක එකිනෙකාට විරුද්ධ සටන් කාමීන් ය. බොහෝ විට එක් දෙවියකු සතු බලය අන් දෙවියනට අහිමි ය.
බුදු දහමේ පෙන්වා දෙන අයුරින් දෙවිවරු ද මිනිසුන් මෙන් දුබල ය. ඔවුන් සර්වබලසම්පන්න නො වෙති.
කිතු දහමේ හඳුන්වා දෙන දෙවි සමිඳාණෝ අන් සියල්ලටම වඩා උසස් ය. උතම් ය. විශ්වයත් එහි පෙනෙන නොපෙනෙන සියල්ලත් මවා වදාල සර්වබලසම්පන්න සර්වඥානයෙන් යුත් විශ්ව පාලක ජීව බලදායක, දෙවියන් වහන්සේ ය. උන්වහන්සේ අසමසම ය. මේ නිසා කිතු දහමේ දෙවිවරු කිහිප දෙනෙක් නැත. ඇත්තේ එකම එක දෙවියෝ ය.
දෙවියන් වහන්සේ ගැන හැකි අයුරින් උසස් අවබෝධයක් ලබා දීමට, දෙවි සරණ යැද, මෙම සටහන තුළින් මා උත්සහ දරමි. බල සම්පන්න දෙවිඳුන් ගැන සියළු තතු අපි නොදනිමු. සීමාසහිත මිනිස් නුවණ යොදා සීමාරහිත බලමහිමයක් විග්‍රහ කිරීම හා වටහා ගැනීම උගහට ය. එහෙත් මිනිස් දිවියේ අරමුණ සපුරා ඉටුකර ගන්නා පිණිස අප විසින් දැන ගත යුතු කරුණු දෙවිඳුන් විසින් ම සපයා දී අපට බුද්ධිමය පෝෂණයක් ලබා දී ඇත. දෙවියන් වහන්සේ ලොවෙන් බැහැර වූ, සුරලොවකට වී වෙසෙන තැනැත්තාණන් කෙනෙක් නො වන සේක. උන් වහන්සේ ලෝකය කෙරෙහි ද වෙසෙසින් මිනිසා කෙරෙහි ද දැඩි ප්‍රේමයක් දක්වන සේක.
දෙවියන් වහන්සේ ගේ අරමුණ දෙවියන් වහන්සේම වෙයි. එම වදන තවත් අයුරකින් කියතොත් මෙසේ කිව හැක, ජීවිතයේ අරමුණ ජීවිතයම වෙයි. මක්නිසා ද ජීවිතය යනු දෙවියන් වහන්සේ හැඳින්වීමට යෙදෙන තවත් නමක් හෙයිනි.
දෙවියන් වහන්සේ යනු කිතු දහම විසින් දෙන ලද නමයි. "දෙවියන් වහන්සේ" යන නාමය තර්කයෙන් සාධාරණීය කළ නොහැකි අවස්ථාවන් මතු විය හැක. එමෙන්ම ඒ සඳහා සාක්ෂි හෝ තර්ක ගොඩනැඟීමට ද අපහසු විය හැක. ඊට හේතු වන්නේ බුදු සමය අනුගමනය කරන්නන් සහ අදේවවාදීන් අභියස දී, දෙවියන් වහන්සේ යනු හිස් වචනයක් බවට පත් කෙරෙගෙන ඇති නිසාවෙනි.
දෙවියන් වහන්සේ යන නාමය දෙස ඉතා විමර්ශණශීලිව බලන කළ, එම නාමය තුළ අන්තර්ගත වී ඇති අර්ථයන් දෙස බලා ඒ අනුව සිත මෙහෙයවා බලන කළ, දෙවියන් වහන්සේ මනා ලෙස ප්‍රකාශ වන සේක. එනම් දෙවියන් වහන්සේ යන නාමයට සමාන නාමයන් සොයා බලමු. "පැවැත්ම"  යන නාමය හොඳය. මහා චින්තකයන් සියළු දෙනා ම පැවැත්ම පිළිබඳ විශ්වාස කළ අය වේ. ඔවුහු දෙවියන් වහන්සේ යන වචනය වෙනුවට පැවැත්ම යන වචනය දැනුදු යොදා ගනිමින් සිටිති. (දේව සැලස්මකි)
නමුත් දෙවියන් වහන‍්සේ යන නාමයටත් වඩාත් ගැලපෙන සමාන වචනය වන්නේ "ජීවිතය" ය. ඒ මක්නිසාද අවශ්‍ය සියළුම දේ ජීවිතයෙහි අඩංගු වන නිසා ය. එමෙන්ම ජීවිතය ඔප්පු කර පෙන්වීමට සාක්ෂි  ඕනෑ වන්නේ නැත. කිසිම අයෙකුට ජීවිතය අසත්‍ය යැයි ප්‍රකිශ කළ නොහැක. මිනිස් ඉතිහාසය තුළ ජීවිතය අසත්‍ය යැයි, ප්‍රකාශ කළ එක දු චින්තකයකු නැත. දශලක්ෂ ගණන් දෙනා දෙවියන් වහන්සේ අසත්‍ය යැයි, දැනුදු ප්‍රකාශ කරමින් සිටිති. නමුත් ඔවුන් කෙසේ ද ජීවිතය අසත්‍ය යැයි ප්‍රකාශ කරන්නේ?. 
එසේ නම් ජීවිතයේ අරමුණ දෙවි සමිඳාණෝ ය. දෙවි සමිඳාණන්ගේ අරමුණ ජීවිතය යි.  මෙය හැර වෙනස් අරමුණක් තිබිය නොහැක. වෙනත් අයුරකින් මෙම අදහස කියනවා නම්, ජීවිතයේ අරමුණ එය තුළම වේ. දෙවි සමිඳාණන් ගේ අරමුණ  උන්වහන්සේ තුළම වේ. එමෙන්ම සියල්ලක්ම ජීවිතයේ අරමුණු වෙයි. දෙවියන් වහන්සේගේ අරමුණු ද එයම වෙයි.
අපගේ සියළු උත්සහයන් සහ ප්‍රයත්නයන් හී ඉලක්කය ජීවිතය බව අප පිළිගත යුතු වෙයි. සෑම පුද්ගලයෙක්ම අද්වීතීය වේ. අප ඉදිරියේ සුපිරි මාවත් ම නැත. අප සැමට අන්‍යයන් අනුගමනය නොකර දෙවිඳුන්ට (ජීවිතයට) මුහුණ දීමට සිදු වී ඇත. මේ සඳහා තම ඇතුළාන්ත හඬ ( දෙවිඳුන්ගේ හඬ) අනුගමනය කළ යුතු වේ. මේ සඳහා ඔබේ කණ්ඩායම සමග නොව ඔබටම තනිව කුඩා දුෂ්කර අඩිපාරක ගමන් කිරීමට සිදු වේවි. 
ජීවිතය අහස මෙනි. දෙවි සමිඳාණන්ද අහස මෙනි. කුරුල්ලන් අහසේ පියාසර කරති. අප ද දෙවි සමිඳාණන් තුළ පියාසර කරන්නෙමු. කුරුල්ලන් අහසේ පිය සටහන් තබන්නේ නැත. අප ද ගැඹුරින් හෘදයාංගම ව අවංකව ජීවත් වන්නේ නම්, කිසිම පිය සටහනක් නොතබන්නෙමු. කිසිවකු අප  පිය සටහන් බලා අප අනුගමනය කළ යුතු නොවේ.  සෑම කෙනෙක්ම තමා තුළින්ම නැඟෙන සියුම් හඬ (දෙවිඳුන්ගේ හඬ) අනුගමනය කළ යුතු වේ.
ඔබගේ ඇතුළාන්ත ඥානය (ශුද්ධාත්ම බලය) ඔබම සොයා ගත යුතු වේ. ඉන්පසු  ඉන් මතු වූ දේ අනුගමනය කළ යුතු වේ. එයයි ඔබව  දෙවිඳුන් කරා ගෙන යන නිවැරදි මාර්ගය. ඔබ සඳහා කිසිවකු එම මාර්ගය අනුගමනය කිරීම හෝ නොකිරීම ගැටළුවක් නොවේ. සෑම පුද්ගලයෙක්ම අද්විතීය වන අතර එම අද්වීතිය භාවයේ ප්‍රභවය ඒ ඒ පුද්ගල ජීවිත සතු වේ.
මෙම සටහන කියවු සියළු දෙනාටම දෙවි සමිඳාණෝ හමු වීම ඒකාන්තය. ඒ සඳහා මෙය බලා අවබෝධ කරගන්න. දෙවි පිහිටයි! ජේසු පිහිටයි!
රාජ් ඇන්තනි

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න